Monday, December 3, 2012

Source from http://mirrorarts.lk/

කලාකරුවා නිර්මාණ කළ යුත්තේ පාලකයෝ කියන විදියට නෙවෙයි Featured

කලාකරුවා නිර්මාණ කළ යුත්තේ පාලකයෝ කියන විදියට නෙවෙයි
Mirrorarts - ශ‍්‍රී ලාංකේය නූතන සිනමාවේ ප‍්‍රගමනය පිළිබඳව කතා කරන්නේ ද එය ප‍්‍රසන්න විතානගේ නම් මාහැගි කලාකරුවාගෙන් නැතිනම් සිනමාවේදියාගෙන් තොරව කතා කළ නොහැකිය . 1992 වර්ෂයේදී ‘සිසිල ගිණි ගනී ’ චිත‍්‍රපටිය සමග ඇරඹි වෘත්තීමය සිනමා දිවිය මේ වන විට දශක දෙකක් පසුකර ගොස් හමාරය .
දශක දෙකක් තුළ කලබලයක් නැති ගමනක් ගිය ඔහු චිත‍්‍රපටි හයක් නිර්මාණය කළ අතර ඒ සියල්ල පේ‍්‍රක්ෂක සිත් සතන් තුළ සදා නොමැකෙන සටහන් තැබුවේය .
සියලූ චිත‍්‍රපට ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත‍්‍රවෙද්දී ඔහු නැවත පේ‍්‍රක්ෂකයා අතර එන්නේ ඔහුගේ නවතම චිත‍්‍රපටිය වන ‘ඔබ නැතුව ඔබ එක්ක ’ සමගයි .
කලාත්මක නිර්මාණයක් කිරීමට ඇති වැට කඩුලූ නොතකා සිය ගමන යන අතරේ මදක් ඔහු අප සමග නැවතුනේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සමග නැවුම් වූ ඔහුගේ ජීවිතයේ තතු අප සමග බෙදා ගැනීමටයි .
මේ මිරර් ආර්ට්ස් ප‍්‍රසන්න විතානගේ සමග  කළ  සාකච්ජාවයි .
ජීවිතේ නොදුටු පැත්ත නිර්මාණාත්මක ඇසින් දැකීමට උත්සහ කරන ඔබ , ඔබේ අලූත් චිත‍්‍රපටියේ තේමාව බවට පත් කරගන්නේ කුමක්ද ?
මේ චිත‍්‍රපටියේ ප‍්‍රධාන තේමාව බවට පත්වෙන්නේ  ආදරය. අපි ආදරය කරන අය අපට ආදරය කරනවද? අපි ආදරය කරලා තියෙන්නේ අපට විතරද? එක්තරා පුද්ගලයෙක් ජීවිතේ දෙස ආපසු හැරී බැලීමේදී ඔහු දකිනවා ඔහු ආදරය කරපු කෙනත් එක්ක නෙවයි නේද ජීවත්වෙලා තියෙන්නෙ කියලා .
ඒ වගේම මේ චිත‍්‍රපටිය අපි නොතකා හරින පුද්ගලයාටත් ආදරය කරන්න පොළඹවන චිත‍්‍රපටියක් විදියටත් මම දකිනවා .
ආදරය වගේම මේ රටේ තිස් වසරක් පැවැති යුද්ධය කොහොමද පුද්ගල ජීවිතයට බලපෑවේ කියන එකත් එක පැත්තකින් අරගෙන මම කතා කළා .
මීට පෙර යුද්ධයේ අඳුරු පැත්ත තේමා කරගනිමින් මම "පුරහඳ කළුවර" සහ "ඉර මැදියම" චිත‍්‍රපටි කළා . "ඔබ නැතුව ඔබ එක්ක"කියන්නේ යුද්ධය ගැන කියවෙන මගේ තුන්වැනි චිත‍්‍රපටිය සහ අවසාන චිත‍්‍රපටිය .
මිලිටරීකරණය නිසා ඇතැම් නිර්මාණකරුවෝ යම් සිරවීමකට ලක්වුණා . යම් යම් සීමා පැනවුණා . නමුත් පශ්චාත් යුධ සමයෙ කෙරෙන යුධ චිත‍්‍රපටිවලදී ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා . මේ පිළිඉඳව ඔබේ අදහස පැහැදිලි කළොත් ?
ඕනම යුද්ධයක් අවසානයේ එහි ඉතිහාසය ලියන්නේ ජයග‍්‍රාහකයා .ඒ පිළිබඳව නිර්මාණ කරන්නේ ජයග‍්‍රාහකයා . මේ කාරණය අපි යුද්ධයෙන් පස්සේ චිත‍්‍රපටි කිහිපයක් හරහාම දැක්කා . සිනමා නිර්මාණකරුවෙක් විදියට මම දකින්න උත්සහ කරන්නේ අනෙක් අය නොදකින පැත්ත . යුද්ධය අවසානයේ කතා නොකරන මිනිසුන් ගැන . යුද්ධය පැවති කාලයේදීත් චමරි , වන්නිහාමි , අර්ෆත් , දුමින්ද වැනි චරිත වුණත් මම දැක්කේ කුසලානය අහිමි වූ පිරිසක් විදියට .
යුද්ධයෙන් පස්සේ මේ චිත‍්‍රපටිය හරහාත් මම එවැන්නක් කතා කරනවා . අප අවට සිද්ධවෙන්නේ මොකද්ද කියලා බලන්න දැන් කාලය ඇවිත් .  කලාකරුවා නිර්මාණ කළ යුත්තේ පාලකයෝ හෝ වෙනත් කෙනෙක් කියන විදියට නෙවෙයි . තමන්ට දැනෙන විදියට .
ඔබ නැතුව ඔබ එක්ක චිත‍්‍රපටිය කලාත්මක ප‍්‍රකාශනයක් විදියට නිර්මාණය වන විදිය සහ එහි  අන්තර්ගතය ඔබේ මුල් කෘතිවලින් වෙනස් වන අයුරු කතා කළොත් .
මේ නිර්මාණය සඳහා වස්තු බීජය වෙන්නේ  රුසියානු මහා ගත්කතුවරයෙකු  විසින් රචිත කෙටි නවකතාවක් . මට මේ නවකතාව ලැබෙන්නේ තරුණ නාට්‍යකරුවකු වන ආරියවංශ ධම්මගේ අතින් .  මේ පොත කියවලා ඒක මම ජීවත් වන පරිසරයේ ඇති පශ්චාත් යුධ සමයට අනුවර්තනය කළා .
ඒ වගේම කලින් කරලා තියෙන නිර්මාණවල මගහැරුණු හැම දෙයක්ම මම මේ චිත‍්‍රපටියේදී හදා ගත්තා . අනෙක් චිත‍්‍රපටිවලට වඩා මනුෂ්‍ය චරිතවල සාරය  , අධ්‍යාත්මය දැනවීමට උත්සහ කළා . ඒ සඳහා  සෑම රූප රාමුවක්ම , සෑම කැමරා ධාවනයක්ම සහ සෑම කැමරා කෝණයක්ම යොදා ගත්තා .
ආදරය කියන දේ කියනවට වඩා ඒ දේ පෙන්නුවා  . ඇත්තටම කියනවනම් මම මේ නිර්මාණය හරහා මගේ සීමාවල් අභිබවමින් යන්න උත්සහ කළා .  ලංකාවේ සිනමා කර්මාන්තයේ පවතින දුර්වලකම්වලට නිර්මාණකරුවා අනුගත විය යුතු නෑ .
ඔබ මේ චිත‍්‍රපටියේ ප‍්‍රධාන භූමිකාව සඳහා ඉන්දියානු නිළියක් යොදා ගන්නවා . මීට හේතුව ලංකාවේ ඒ චරිතයට සුදුසු කෙනා නැතිවීමද?
චිත‍්‍රපටියේ විදියට ඇය දෙමළ තරුණියක් . මම කැමති වුණේ  නෑ ඒ සඳහා සිංහල නිළියක් යොදා ගන්න . අවාසනාවට ලංකාවේ දෙමළ චිත‍්‍රපටි කර්මාන්තයකුත් නෑ . ගොඩක් මහන්සි වුණා මේ චරිතයට කෙනෙක් හොයා ගන්න .
ලංකාවේ තරුණියක් සති තුනක් විතර පුහුණු කළා . ඇය දක්ෂ වුණත් මේ චරිතය ඇයට කළ නොහැකියි කියලා මම තේරුම් ගත්ත නිසා නැවත ඇය ඉවත් කෙරුණා . පස්සේ මගේ මිත‍්‍රයෙක් වන තපස්නායක් එවපු පින්තුරවල සිටි  අන්ජලී පටිල් මේ සඳහා තෝරා ගත්තා .  
ඇය ඒ වන විට චිත‍්‍රපටි දෙක තුනක රඟපාලා තිබුණා . මේ චිත‍්‍රපටිය රඟපාන කාලේ ඇයට බොලිවුඞ් චිත‍්‍රපටියකට ආරාධනා ලැබුණා . ඇත්තටම මම ඇයව තෝරගන්න විට ඇය ජනප‍්‍රිය නිළියක් නෙවෙයි .
ඇය මේ චරිතයට සාධාරණත්වය ඉෂ්ට කළාද?
ඔව් . ඇය විශිෂ්ටයි . ඇය දෙමළ තරුණියක් නෙවෙයි  . චිත‍්‍රපටියේදී ඇයට දෙමළ සහ සිංහළ භාෂාව කතා කරන්න වෙනවා . ඇය හොඳින් වචන උච්චාරණය කළා . සියලූම දෙබස් කට පාඩම් කළා . කවදාවත් දෙබස් වැරැද්දුවේ නෑ . අපි මුලින් හිතුවේ හඩ කැවීමට වෙනත් කෙනෙක් යොදා ගන්න . ඇය කෙතරම් දක්ෂ ලෙස වචන උච්චාරණය කළාද කියනව නම් අපි ඒ සඳහා ඇයවම යොදා ගත්තා .
ඉන්දියානු සිනමාව කර්මාන්තයක් විදියට කොපමණ දියුණුද යන්න මට ඇය හරහා තේරුම් ගියා .  
මේ චිත‍්‍රපටියේ සංගීත නිර්මාණය  පිළිබඳව කතා කළොත් ?
සංගීත නිර්මාණය කළේ ලක්ෂ්මන් ජෝසප් ද සේරම්  . ඔහු චිත‍්‍රපටිය බලලා කිව්වේ මේකට සංගීතය අත්‍යවශ්‍ය නෑ කියලා . මම චරිතවල අභ්‍යන්තරය පෙන්වීමට සංගීතය භාවිතා කළා මිස හැඟීම් පෙන්වීමට යටි පෙල ඇඳීමක් සේ සංගීතය භාවිතා කළේ නෑ .
මම ලක්ෂ්මන්ට ස්තුතිවන්ත වෙනවා ආදරය සහ වෛරය අතර ඇති අධ්‍යාත්මය හෙළිවන ආකාරයට උචිතම ස්වර භාවිතා කරමින් මෙහි සංගීත නිර්මාණය කළාට .
ජාත්‍යන්තර සම්මාන උළෙලවල් රැසක්ම නියෝජනය කරන්න මේ චිත‍්‍රපටියට හැකි වුණා?
ඔව් . ඒ අවස්ථාවලදී චිත‍්‍රපටියට ඉහළ ප‍්‍රතිචාර ලැබුණා . ලන්ඩන්වල තිරගත වෙද්දී සති දෙකකට කලින් ප‍්‍රවේශපත් ඉවර වුණා .  ප‍්‍රථම වතාවට තරගකාරී උළෙලකට ඉන්දියාවට යනවා . තවත් උළෙලවල් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා .
ඔබ ජපානයට චිත‍්‍රපටිය විකිණු බව කියනවා . එහි සත්‍යතාවයක් තියෙනවද?
ඒ ගණුදෙණුව මෙහෙමයි . මගේ චිත‍්‍රපටිය ජපානයේ ෆුකෝකා සංරක්ෂණාගාරය මිලදී ගත්තා . මේ වෙන කොට මගේ චිත‍්‍රපටි 5ක් මිලදී ගෙන තියෙනවා . ‘සිසිල ගිණි ගනී’ චිත‍්‍රපටියත් මිලදී ගන්න නියමිතයි . විකිණිම නෙවෙයි මෙහිදී මගේ අරමුණ වුණේ . සංරක්ෂණය කිරීම .
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා චිත‍්‍රපටි සංරක්ෂණය පිළිබඳව දශක හතරක් පුරා කතා කරනවා . මොකුත් වුණේ නෑ . මේ වගේ දේවල්වලට රාජ්‍ය මැදිහත්වීමක් නැත්නම් අපට සිද්ධවෙනවා පුද්ගලික මට්ටමින් සංරක්ෂණ තහවුරුවක් ලබා ගන්න . ඒකයි මම මුලිනුත් කිව්වේ කර්මාන්තය කඩා වැටෙද්දී නිර්මාණකරුවත් කඩා වැටිලා හරියන්නේ නෑ කියලා .  
ජාතික චිත‍්‍රපටි සංස්ථාවෙන් සංරක්ෂණාගාරයක් ඉදිකිරීමට කටයුතු කරගෙන යනවා .  ඔබ මේ වන විටත් ඔබේ නිර්මාණ සියල්ල භාර දීලලූ නේද ?
ඇත්තටම චිත‍්‍රපටි සංස්ථාවේ මේ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසක් සිටීමම සතුටක් .  ඒක හොඳ ආරම්භයක් .  නමුත් ඒ දේ සර්ව සම්පූර්ණ නෑ. මෙය පැය 24 ම නිශ්චිත උෂ්ණත්වයේ පවත්වාගෙන යන්න  ඕන . ඍණ උෂ්ණත්වයක පවත්වනවා කියන්නේ බල ශක්තිය වැය කරන්න වෙන වැඩක් . ජල වාෂ්ප ඉවත් කරන්න නිශ්චිත පිළිවෙලක්  ඕන . නිරන්තරයෙන් පිටපත් පරීක්ෂා කරන්න   ඕන . පූර්ණ සංරක්ෂණාගාරයක් තවම නෑ . නමුත් මේ ආරම්භයට ගෞරවයක් විදියට තමයි මම මගේ චිත‍්‍රපටිවල පිටපත් ලබා දුන්නේ .  
ඔබ ඔබේ නිර්මාණ හරහා ජාත්‍යන්තරය අවුස්සා සම්මාන ලබා ගන්නවා කියලා ඇතැමුන් කියනවා . මෙය සත්‍යයක්ද නැත්නම් ඔබව හංවඩු ගැසීමට කරන වෑයමක්ද?
අපි ජීවත්වෙන්නේ යුද්ධය ඉවර වුණත් ආන්තීකරණය වූ සමාජයක . මම ජාතියකට සේවය කරන කෙනෙක් නෙවෙයි . මම විශ්වාස කරන්නේ මනුෂ්‍යත්වය .
ඒ මනුෂ්‍යත්වය ගැන මම කතා කරන්නේ . නිර්මාණයක් ජාත්‍යන්තර ඇගයීමකට ලක් වෙද්දී බලන්නේ පාක්ෂිකත්වය නෙවෙයි. ජාත්‍යන්තර සිනමා උළෙලවල්වල ජූරි සභිකයෙක් විදියට මම වැඩ කරලා තියෙනවා . එතනදි බලන්නේ නිර්මාණයේ සිනමාත්මක ලක්ෂණ , මනුෂ්‍යත්වයේ සහ ජීවිතයේ ගැඹුර,  සහ නිර්මාණයේදී නිර්මාණකරුවා කෙතරම් දුරට අවංක වුණාදැයි යන කාරණා. මම ඉල්ලන්නේ ඔබේ කෝණයෙන් මං දෙස බලන්න කියලා නෙවෙයි. මගේ කෝණයෙන් මම මනුෂ්‍යත්වය දෙස බලපු විදිය දකින්න කියලා.
ඩිජිටල් සිනමාවක් බිහිවීම අපේ සිනමා කර්මාන්තයේ උන්නතියට කෙබඳු බලපෑමක් ඇති කරයිද?
එය එක්තරා ආකාරයකට සිනමා නිර්මාණකරණයේදී යන පිරිවැය අඩු කරනවා . බෙදා හැරීම පහසු කරනවා . ප‍්‍රක්ෂේපණයේදීත් මුල් දවසේ පිටපත වගේම දකින්න පුළුවන් වෙනවා . මේ පිටපත් පටලපටයට වඩා ලාභදායි . ඒ නිසා වැඩි පිටපත් සංඛ්‍යාවක් එකසැරේ පෙන්වන්න පුළුවන් .
අවාසනාවට මේ තාක්ෂණය සිනමාවේ ප‍්‍රගමනයට භාවිතා කරන්න බැරිවෙලා තියෙනවා . ජාතික සිනමා සංස්ථා පනතේ පටලපට විතරයි පෙන්වන්න අවස්ථාව ලබාදීලා තියෙන්නේ .
මේ පනත වෙනස් කරලා ඩිජිටල් සිනමාව ඇතුළත් කිරීමට කැබිනට් කමිටුවක් පත් කරලා වාර්තාවක් නිකුත් කළා. ඒත් ඒක තවමත් නීති කෙටුම්පතේ හිරවෙලා . දැන් අවුරුද්දක් විතර වෙනවා .
කර්මාන්තයක් එසේ පවත්වාගෙන යන්න බෑ . ලෝක ප‍්‍රවණතාවලට යන්න  ඕන . වාසිය ගන්න  ඕන . මම විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් අපට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා  .
සිනමා කර්මාන්තයේ පවතින දුර්වල තැන් , සිටින නිර්මාණකරුවන්ට වගේම තරුණ නිර්මාණකරුවන්ගේ පැමිණීමටත් බාධාවක් නේද?
ඔව් . මුලින්ම ආයෝජන හිතකර වාතාවරණයක් නිර්මාණය වෙන්න  ඕන . මුහුදු සීමාවෙන් ඔබ්බට ගිය සිනමාකරුවෝ කිහිපදෙනෙක් බිහිවූ පමණින් කර්මාන්තය පවතින්නේ නෑ .  
මට පේන විදියට සිනමාකරුවෝ කිහිපදෙනෙක් සිටියදී කර්මාන්තය මිය යනවා .ඇතැම් රටවල මේ දේ වෙලත් තියෙනවා. තාමත් සිනමා හල්වලට යන හොඳ පේ‍්‍රක්ෂක පිරිසක් ඉන්නවා.
මේ ඒ අයට කරන අසාධාරණයක්.  ඩිජිටල් සිනමාව කියන්නේ තරුණයාට ඉදිරියට එන්න පුළුවන් මගක්. අද තරුණයන්ගේ කෙටි චිත‍්‍රපට මොන නාලිකාවෙද පෙන්වන්නේ. කුමන ආයෝජකයද මේ අයට අත දෙන්නේ. මේ හැමදේටම ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි.  රජයට සාහාය දෙන චිත‍්‍රපට තෝරලා ඒවට අත දෙන එක තමයි අද රජයේ ප‍්‍රතිපත්තිය වෙලා තියෙන්නේ.
සිනමාව දේශපාලනීකරණය වීමත් සමග වාරණයට බිය වූ ඇතැම් නිර්මාණකරුවෝ අද දුර්වල වෙලාද?
එහෙම දේකුත් තියෙනවා. මගේ පුරහඳ කළුවර චිත‍්‍රපටයත් වාරණයට ලක්වුණා. නමුත් ඒක නැවත පෙන්වන්න අවස්ථාව ලැබුණා. ඊට පසුවත් මම නිර්මාණ කළා. ඒවා එළියට දාන්න මම බය වුණේ නැහැ.
අශෝක හඳගමගේ අක්ෂරය වුණත් රැගුම් පාලක මණ්ඩලය මගින් නීත්‍යානුකූලව වාරණය කළේ නැහැ. නමුත් ඒක සූක්ෂම ලෙස වාරණය වුණා.
නිර්මාණකරුවාගේ නිර්මාණ නිදහස නැති වුණා. වාරණයේ තියෙන භයානකම දේ තමයි ස්වයං වාරණය.
ඒ කියන්නේ ඔබත් ස්වයං වාරණයට ලක් වෙලාද?
නෑ. එහෙම වුණානම් මම මේ චිත‍්‍රපටය කරන්නේ නෑ.
බිහිවෙමින් තිබෙන සිනමාකරුවන්ගේ සංසදයේ ප‍්‍රතිපත්ති පිළිබඳවත් කතාකරමු
මේ වනවිට කිහිපදෙනෙක් මීට එකතුවෙලා ඉන්නවා. අපේ පළමුවැනි  අරමුණ ජාතික ප‍්‍රතිපත්තියේ අවශ්‍යතාව තහවුරු කිරීම. ආයෝජන හිතකර ප‍්‍රතිපත්ති ඇතිකිරිමට පෙලඹවීම සහ ඩිජිටල් සිනමාව යොදා ගැනීමට සුදුසු වාතාවරණය සකස් කිරීම.
රංගන පාසලක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඔබේ සැළසුම පැහැදිලි කළොත්....
මම මේ ක්ෂේත‍්‍රයට ඇවිත් දශක දෙකක් වෙනවා. මම විශ්වාස කරනවා පෙරළා මගෙන් යමක් මේ කර්මාන්තයට විය යුතුයි කියලා. ඒකයි ලබන වසරේ මුල රංගන පාසලක් ඉදිකිරීමට කටයුතු කරන්නේ. මෙහිදී න්‍යායික මෙන්ම ප‍්‍රයෝගික දැනුමද ලබා දෙනවා. සැළසුමේ වැඩි විස්තර පස්සේ කියන්නම්.  
සංවාදය -  ශිරන්තනි මානවඩු
001
003
004
005
0002

No comments:

Post a Comment